දිනකට පියවර 10,000 ක් ඇවිදීමේ මූලාරම්භය වුණේ 1962 දී ජපානයේ බිහි වූ Manpo Meter එකයි. (bst.ac.jp)

හැකි තරම් ඇවිදින එක නීරෝගී වෙන්න පහසුම ක්‍රමය කියන එක කාලයක් තිස්සේ ගොඩ නැගුණු සංකල්පයක්. සාමාන්‍යයෙන් කියන්නේ නීරෝගීව ජීවත් වෙන්න නම් දවසකට පියවර 10,000 ක් ඇවිදින්න අවශ්‍යයි කියලායි. කැලරි දහනය කරගෙන නීරෝගී වෙන්න ඇවිදීම ඉහළ නංවා ගැනීම ප්‍රචලිත වුණේ ජපානයේ එක්තරා සුවතා උපාංගයක් නිසායි. කොහොම වුණත් නිකන්ම ඇවිදින එක නම් ඒ තරම් ප්‍රයෝජනයක් නැති බව අද වන විට පිළිගැනෙනවා.

නීරෝගී වීමේ ප්‍රධානතම අවශ්‍යතාව විදිහට සැළකෙන්නේ හෘද ස්පන්දන වේගය, නැතිනම් හද ගැස්ම ඉහළ යන ශාරීරික ක්‍රියාවල නිරත වීමයි. (මෙතැනදී කරන දේ ශාරීරික ක්‍රියාවක් වීම වැදගත්. බිය වීම ඇතුළු හැඟීම් සහ මානසික තත්ත්ව නිසාත්, රෝග තත්ව නිසාත් හදගැස්ම ඉහළ යාම මෙයට අදාළ නැහැ) සාමාන්‍යයෙන් කෙනෙකු සමතල පාරක් දිගේ ඇවිදගෙන යනවා නම් හදගැස්ම සැළකිය යුතු ලෙස ඉහළ යාමක් සිදු වෙන්නේම නැති තරම්. ගොඩක් වෙලා ඇවිදගෙන ගියොත් ඊට පෙර දෙපා රිදීම වගේ ගැටළු තමයි ඇති වෙන්නේ.