කාය වර්ධනය සහ නීරෝගී බව කියන්නේ දෙකක්. (musclebeauties.blogspot.com)

අද කාලේ විවිධ ව්‍යායාම කරලා ඇඟ හැඩ කරගෙන ඉන්න සමහර අය දිහා බලනකොට නම් මේ දෙක අතර තියෙන වෙනස බොහෝ දුරට දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් කාන්තාවකට සහ පිරිමියෙකුට ඇඟ හැඩයි කියලා සළකන විවිධ මිණුම් දඬු සම්මත වෙලා තියෙනවා. මේ දෙපාර්ශවයටම පොදු දෙයක් තමයි බඩ ඉදිරියට නෙරා ඇවිත් නොතිබීම වඩා හොඳයි කියන එක. ඒ වගේම පිරිමි කෙනෙක්ගේ බඩේත්, මුළු සිරුරේමත් මාංශ පේශි පැහැදිලිව ඉලිප්පී තිබීම හොඳයි කියලා සැළකෙනවා. කාන්තාවකගේ තට්ටම් ඇතුළු පිටුපස ප්‍රදේශය තරමක් විශාලව තිබීම, උකුළ පළල් වීම සහ ඉඟ සිහින් වීම හොඳයි කියලා සැළකෙනවා. පියයුරුවල ප්‍රමාණය ගැන විවිධ අදහස් තිබුණත් එය ව්‍යායාමවලින් වෙනස් කරගන්න සාමාන්‍යයෙන් හැකියාවක් නැති නිසා මෙයට අදාළ වෙන්නේ නැහැ.

යම් ආකාරවලට අතිශය පීඩාකාරී ක්‍රමවලින් මේ ලක්ෂණ වඩාත් හොඳින් ඉස්මතු කරගන්න පුළුවන් වුණත් එය හැම විටම නීරෝගී බවක් කියලා කියන්න බැහැ. සමහර විට සිරුර සැළකිය යුතු තරමින් වෙනස් කරන්න ලබා ගන්නා හෝර්මෝන ආදිය ඇත්තටම සාමාන්‍ය කෙනෙකුටත් වඩා රෝගී පුද්ගලයෙක් බවට කෙනෙකුව පත් කරන්න ඉඩ තිබෙනවා. ඒ ක්‍රම හෝ ජීවිතයේ අනෙක් කටයුතුවලට බාධාවක් වීමට තරම් වෙලාවක් වෙන් කිරීමෙන් තොරව ඒ මට්ටමට මේ ලක්ෂණ ඉස්මතු කරගන්න පුළුවන් වෙන්නේ කලාතුරකින්.

සිරුර වඩාත් ආකර්ෂණීය කරගැනීම කෙසේ වෙතත් නීරෝගී වීම නම් කෙනෙකුට හරිම වැදගත්. නීරෝගී කෙනෙකුගේ සිරුරේත් හොඳ හැඩයක් පැවතුණත් එය අර මට්ටමටම යන්නේ නැති තරම්. මේ නිසා වඩා වැදගත් වෙන්නේ මොකක්ද කියන එක ඔබම තීරණය කරන්න අවශ්‍යයි. නීරෝගී වීම ප්‍රධාන අරමුණ නම් එයට ගැළපෙන විදිහට හැඩ ගැසීම ගැනයි මේ ලිපියෙන් කියන්නේ.