Instagram ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි වර්තමානයේ සිරුර හැඩ කරගන්න තියෙන උනන්දුවට ලොකු හේතුවක්. (instagram.com/sandani_fernando)

අද වෙනකොට හැමෝම තුළ ලස්සනට ඉන්න ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙනවා. Instagram වගේ ඇප් හරහා ඇඟ හැඩට තියෙන කෙනෙකුට ඒ බව පෙන්වන්න තියෙන හැකියාව මේකට ප්‍රධාන හේතුවක් බව හිතන්න පුළුවන්. විශේෂයෙන්ම තරුණ කවුරුත් හැඩට ඉන්න විශේෂ මහන්සියක් ගන්නවා. හැමදාම නාන කාමරේට ගිහින් හිට ගත්තාම ලැජ්ජා හිතෙන විදිහේ බඩක් තියෙනවා නම්, ඇඟේ හැටියට අත් දෙක සිහින් නම්, සිරුරේ කිසිම හැඩයක් නැති නම්, මොන ඇඳුම ඇන්දත් අපහසුයි, පෙනුමක් නැති නම් ඒකට යම් පිළියමක් යොදන්න හැමෝම කැමතියි. හැබැයි ඒකට මාස ගාණක් තිස්සේ ජිම් යන්න, කෑම පාලනය කරන්න, නිතරම මහන්සි වෙලා ව්‍යායාම කරන්න ඕන කියලා මතක් වුණාම නම් වැඩි දෙනෙක්ට තියෙන ඇඟ හොඳයි කියලා හිතෙනවා.

ව්‍යායාම නොකර ඇඟ කෙට්ටු කරගන්න, හැඩ කරගන්න පුළුවන් කියන පෙති, කරල්, තේ වර්ග ඇතුළු විවිධ නිෂ්පාදන, බඳ පටි වගේ දේවල් ඇති තරම් වෙළඳපොළේ දැක ගන්න පුළුවන්. හැබැයි ඇත්තටම ඒවායෙන් කියන තරම් ප්‍රයෝජනයක් තියෙනවාද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්. ලස්සනට ඇඟ හදාගත්ත කෙනෙක්ගෙන් ඇහුවොත් නම් ලැබෙන එකම පිළිතුර ගොඩක් මහන්සි වෙලා, කැප වෙලා ඒ දේ ලබා ගත්තා කියන එකයි.

ඉතින් මේ අන්ත දෙකටම නොයා සැබෑ ප්‍රතිඵලයක් ගන්න ක්‍රමයක් නැද්ද? අද කතා කරන්නේ ඒ ගැනයි.