හදවත් රෝග, අධි රුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා ඇතුළු බෝ නොවන රෝග අද මුළු ලෝකයම වගේම ශ්‍රී ලංකාවත් මුහුණ දීලා ඉන්න බරපතලම ගැටළුවක් විදිහට සලකන්න පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල දත්ත අනුව ශ්‍රී ලංකාවේ සිදු වන සියලුම මරණවලින් 75% කටම හේතු වෙන්නේ මේ වගේ බෝ නොවන රෝග. ඒ විතරක් නෙවෙයි, රටේ මිනිසුන්ගෙන් 20% ක්ම මේ රෝග නිසා නිසි වයසට පෙර මිය යන බවත් එහි සඳහන් වෙනවා. විශේෂයෙන්ම දුම්පානය, මත්පැන් පානය, අහිතකර ආහාර ගැනීම සහ ව්‍යායාම මද කම වගේ කාරණා රටේ ආර්ථිකයට පවා සැළකිය යුතු බලපෑමක් කරන්න තරම් උත්සන්න වී තිබෙන බව කියවෙනවා. මෑතදී කරන ලද අධ්‍යනයකින් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 25% ක් ස්ථුල තත්වයේ පසු වන බවත් සොයාගෙන තිබෙනවා.

2017 වසරේ තෙවන කාර්තුවේදී මහජන සෞඛ්‍ය උදෙසා වැය කෙරුණු මුදල් ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3 ක් දක්වා ඉහළ ගිහින් තිබුණා, මෙය 2016 ට සාපේක්ෂව 10% ක ඉහළ යාමක්. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය මොන තරම් ඉදිරියෙන් තිබුණත්, නිදහස් සෞඛ්‍යය අයිතිය සියලුම දෙනාට ලැබුණත් අපිට අපේ සුවතාව ගැන උවමනාවක් නැති නම් මේ වගේ බෝ නොවන රෝග නිසා පවතින ගැටළුවට සැබෑ විසඳුමක් නැහැ. විශේෂයෙන්ම නගරබදව වාසය කරන අය අතර අධි රුධිර පීඩනය, දියවැඩියාව, ඉහළ රුධිරගත කොලෙස්ටරෝල්, හදවත් රෝග, ඇදුම වගේ රෝගවල ව්‍යාප්තිය ගම්බදව හා වතු ආශ්‍රිතව ජීවත් වෙන පිරිසට වඩා සැළකිය යුතු ලෙස වැඩි බව දකින්න පුළුවන්. රටේ රෝග නිවාරණය සඳහා වැය කරන මුළු ජාතික ධනයෙන් 70% කටත් වඩා මේ වගේ පහසුවෙන් වළක්වා ගත හැකි රෝග නිවාරණයට වැය වීම විශාල ගැටළුවක් නේද?

ඉතින් දැන්ම තීරණයක් අරගෙන තමන්ගේ නීරෝගී බව ගැන සැළකිලිමත් වෙන්න. ලෝකයේ ඔබට උපයන්න පුළුවන් ලොකුම ධනය නීරෝගී බව කියන එක කවදාවත් අමතක කරන්න එපා. අද ඔබ ඒ වෙනුවෙන් පොඩි මහන්සියක් ගත්තොත් අනාගතයේ ඔබට සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් වියදම් කරන්න සිදු වෙන මුදල් සම්භාරයක් ඉතිරි කරගන්න පුළුවන් වෙන බවත් හොඳින් මතකයේ තියා ගන්න.